Secretary

මිනිසා කලාව කෙරෙහි ඇලුම් කරන්නට පටන් ගත්තේ කවදා සිටදැයි ස්ථීරවශයෙන් ප්‍රකාශ කිරීමට නොහැකි වන නමුත් මිනිසාගේ ආරම්භයේ සිටම ඔහු සොභාව සෞන්දර්යය ප්‍රිය කරන්නට ඇතැයි යන අනුමානයට එකඟ වීමට අපට සිදුවේ. ආදිකාලීන මිනිසුන් ජීවත්වූ ගල්ලෙන් වල තිබී සොයාගෙන ඇති පැරණි චිත්‍ර, ඔවුන් පරිහරණය කරන ලද ආයුධ හා මෙවලම් පිරික්සීමෙන් සොයාගන්න ලද කරුණු පිරික්සීමේදී අපට මේ බව සනාත වනු ඇත. මෙසේ ගල් යුගයේ සිට අප අවතීර්ණ වී ඇති අභ්‍යවකාශ යුගය දක්වා වූ මිනිසාගේ දියුණුවට සමාන්තරව කලාවේ දියුණුවද ඉදිරියට ගලාගෙන ආ බව ඉතිහාසය අපට පැහැදිලි කර දෙයි.එනම් මිනිසාගේ ජීවිතය සංකීර්ණත්වයට පත්වන ක්‍රමයට අනුරුපවම ඔහුගේ කලාවද සංකීර්ණත්වයට පත්වූ බවයි.

නැටුම් කලාව, සාහිත්‍ය කලාව, නාට්‍යය කලාව, චිත්‍ර කලාව, හෝ සංගීත කලාව යන ඕනෑම ලලිත කලාවකින් අප බලාපොරොත්තු වන්නේ රසයයි.නොහොත් සුන්දරත්වයයි. එසේම සැබෑ කලා කෘතියකින් සිදුවන්නේ සහෘදයාගේ සිත නිවීම මිස ආවේගයන් ඇවිස්සීම නොවේ. ඒ මන්දයත් අකුරු වලින් හොඳ වචන සේම අසභ්‍ය වචනද ලිවිය හැකිය.එසේම අප උගන්නා කලාව යහපත් පරමාර්ථ මෙන්ම අයහපත් පරමාර්ථ උදෙසා යොදාගත හැකි බැවිනි.

මුළු මහත් ලෝකයම ජීවත්වීම සඳහා සුදුසු මිහිරි ස්ථානයක බව ප්‍රකාශ කරනුයේ කලාකරුවා විසිනි.ජීවන ගමනේ නොයෙකුත් භාදක හමුවේ වෙහෙස වන මිනිසාගේ ජීවන බර මදක් හෝ සැහැල්ලු කරදීමට කලාකරුවා දරන වෑයම මහත්ය. ඔහු ලෝකය දෙස බලන්නේ අන්‍ය ලෙස නොවේ.තමන්ට අවේනික අයුරින් ලෝකය දෙස බලන ඔහු සිය ප්‍රතිභාව තුලින් ඔහු දකින අපුර්වත්වය අපටද බෙදා දෙයි. එමඟින් ඔහු සමාජයේ ආදරයටත්, ගෞරවයටත් පාත්‍ර වෙයි. සාරධර්ම පිරි සමාජයක පෙර ගමන්කරුවා ලෙස ඔහු ක්‍රියාකරනු ලබයි.

බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සෞන්දර්ය නිකේතනය බස්නාහිර පළාතේ වෙසෙන කලාකරුවන් හට තම කලා කටයුතු කරගෙන යාම සඳහා අතහිත දීම සඳහා ස්ථාපනය කරන ලද ආයතනයකි. නාට්‍ය,  සිනමා, නර්තන, සංගීත, හා චිත්‍ර ආදී සාම කලා ක්ෂේස්ත්‍රයන් සඳහා මෙහි පහසුකම් සලසා ඇත. ශාලා පහසුකම්, සංගීත හා නර්තන  කණ්ඩායම් ලබාගැනීමේ පහසුකම්, කලා පාඨමාලා ආදීන්ගෙන් සෞන්දර්ය නිකේතනය සමන්විතය. සමාජයේ පෙරගමන්කරුවන් වන කලා කරුවන්ගේ අවශ්‍යතාවයන් සපයා දෙමින් ඔවුන් ඉහල තලයක පිහිටවීම බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ අරමුණ වේ. මෙම අරමුණ සාර්ථක කරගැනීම සඳහා බස්නාහිර පලාත් සෞන්දර්ය නිකේතනය මඟින් නිර්මාණය කරනලද වෙබ් අඩවිය සඳහා සුභ ප්‍රාර්ථනා කිරීමට ලැබීම හා කලාකරුවන් නගා සිටුවීමේ පුණ්‍යකර්මයට දායක වීමට ලැබීම ද  මා ලද භාග්‍යයක් කොට සලකමි.

මෙම සියලු කටයුතු සාර්ථක කරගැනීමට උපදෙස් දෙමින් මා හට මඟ පෙන්වන පළාත් ගරු ආණ්ඩුකාර තුමා, ප්‍රධාන අමාත්‍යතුමා, ගරු විෂය භාර අමාත්‍යතුමා, පළාත්සභාවේ ගරු මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන්, ප්‍රධාන ලේකම් තුමිය, බස්නාහිර සෞන්දර්ය නිකේතනයේ සභාපතිතුමා ප්‍රමුඛ එහි නිලධාරී මඩුල්ලටත් මාගේ ස්තුතිය පුද කරමි.

 

එස්.ජී.විජයබන්දු,

ලේකම්,

අධ්‍යාපන, සංස්කෘතික හා කළා කටයුතු,ක්‍රීඩා හා යෞවන කටයුතු ,තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය,

බස්නාහිර පළාත.